බහ තෝරන වයසේ ඉදලම මට ගෙදරින් ලැබුනේ පොත් පත්. ඉතින් පොඩි කාලේ ඉදලම පොත් වලට ගොඩක් ආදරේ කරන්න පටන් ගත්ත. පැන්ඩා බබා මට ලැබුන මුල්ම පොත. ඔය කතාව මට කොච්චර කියල දීල තියෙනවද කියනවනම් කිසිම අකුරක් දන්නේ නැති මම පොත පෙරලගෙන මුළු කතාවම කට පාඩමින් කියනවා. එතකොට මගේ වයස අවුරුදු 3ක් වගේ ඇති.
ටිකෙන් ටික ලොකු වෙනකොට පොත් වලට තිබුන ආසාව වැඩි වුන. මට ගෙදරින් තහනමක් තිබුනේ නෑ ඒ පොත කියවන්න එපා මේ පොත කියවන්න එපා කියල. ඉස්කෝලේ 6,7 පන්ති වලට එනකොට මට කවි, නිසදැස් ලියන්න පටන් ගත්ත. ඒත් කාටවත් පෙන්නුවේ නෑ. 9 පන්තියේදී අපිට විෂයක් තිබුන ජීවන නිපුණතා කියල. අපේ පලවෙනි පැවරුම මා කැමතිම තැනැත්තිය ගැන රචනයක් ලියන්න. ඔන්න මමත් ලිවූවා කැමතිම තැනැත්තිය ගැන. ලියල ඉවර උනාම මට හිතුනා ලස්සන කවියකුත් ලියන්න ඕනේ කියල.
කවියත් ලියල පින්තුරයකුත් අලවලා පහුවෙනිදා ගෙනිච්චා. දැන් විෂය බාර ගුරුතුමී බලනවා එක එක්කෙනාගේ ඒවා. කවදත් මගේ පුරුද්දක් තිබුන ඉක්මනට පෙන්නලා යාළුවො එක්ක කියව කියවා ඉන්න එක, ඒත් එදා මම පෙන්නන්න පොඩ්ඩක් පස්ස ගැහුවා. ගුරුතුමී මගේ නම කියල ඇහුව ලියල නැද්ද කියල. " ලියල මිස් තියෙන්නේ." " ලියල නම් ඔච්චර ඇබරෙන්නේ ඕකත් අරගෙන මෙහෙ එන්න." මිස් මගේ රචනාව සහ කවිය කියෙවුවා " මෙච්චර ලස්සනට ලියල තියෙද්දී ඇයි පෙන්නුවේ නැත්තෙ." මිස් කවිය පන්තියටම ඇහෙන්න කියෙවුවා. මට හරිම සතුටුඉ. ගෙදර අයටත් සතුටුයි.
11 වසරේදී මම කෙටි කතාවක් ලිවුවා. අනේ මගේ කතාව හොරකම් කලා. මට හරියට දුක හිතුනා. ඊට පස්සේ මම ලියන එක නැවැත්තුවා. කාලය ඔහොම ගලාගෙන ගිය. මම උසස්පෙළ කලා. උසස් අධ්යාපනය පටන් ගත්තා. ඔය අතරේ කෙනෙක් මගේ ජීවිතයට ආවා. නැවතිලා තිබුන පුරුද්ද ආපහු පටන් ගත්තා. මම එයට මගේ හිතේ තිබුන දේවල් නිසදැස විදිහට ලියලා දුන්නා. එයට තියෙනවා බ්ලොග් පිටුවක්. මම ඇහුව එයාගේ එකට මමත් ලියන්නද කියලා. " ඔයත් එකක් පටන් ගන්නකෝ."
ඔහුගේ ආදරණිය දිරිගැන්වීම මත දිග හැරෙන මගේ බ්ලොග් පිටුව " සිතුවිලි අරණ."
No comments:
Post a Comment