2012/09/30

ආදරණිය කපිතාන්


විසල් සයුරේ සිරි නැරබීමට
වෙරළෙන් මහ රල අතරට
ඇදෙමින් තිබු පුංචි නෞකාවක්...
දරා ගැනීමට නොහැකි 
කුණාටුවකට අසුව 
පරක් තෙරක් නොදන්නා
මහ සයුර මැද අතරමංව...
සෝසුසුම් හලමින් සිටියදී
නෞකාවකින් අතහැරදමා
සයුරේ පිහිනමින් සිටි
කපිතාන්වරයෙකු මුණ ගැසුණි...

නුහුරු නුපුරුදු වූ 
මෙම මිනිසා කෙරෙහි 
ලෙන්ගතුකමක් ඇති වූ බැවින්
නැවට ගොඩ නැගීමට අවසර දුන්නෙමි...
කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් 
දළුලන ලැබූ මිතුදම
ආත්මීය බන්ධනයක් වීමට
ගත වුයේ නිමේෂයකි...

මා ආදරණිය 
කපිතාන්වරයාණනි,
අපගේ ප්‍රේම චාරිකාවට
තව නොබෝ දිනකින්
තුන් වසරයි...


    

2011/07/06

මගේ පණ

රාත්‍රියේ සුන්දර සිහින බොඳ කරමින්
 නදදෙයි හෝරා යන්ත්රය අලුයම 
තවත් අලුත් දවසක ඇරඹුම... 
සනිටුහන් වෙයි එතැන සිට

දඩිබිඩියේ, කඩිමුඩියේ 
ලක ලැහැස්ති වී
දුවයි කාර්ය්‍යාලය වෙත
ලිපි ගොනු වල මුහුණ ඔබන්
කරයි වැරදි නිවැරදි කිරීම්

සවස බසයෙ තෙරපෙන විට
මහන්සි නොවූ ගතද රිදෙයි 
ගෙදර පැමිණි මොහොතේ සිට
රෑ වන තෙක් නෑ ඉවසුම්
දයාබර වූත් ලෙන්ගතු වූත්
කථාවේ ආරම්භයට...

දැනෙයි  සිසිලක් මනසට හා ගතට
ඇසෙන විට ආදරබර වදන්
මෙයයි මා පැතූ ආත්මීය
ආදරය, සෙනෙහස හා රැකවරණය
නිතැතින් මට ඒ හැමදේ
ලබාදෙන මගෙ සුදූට
මගෙ පණටත් වැඩියෙන් ආදරෙයි....

2011/05/23

නිදි දෙවු දියණියි

වෙනදා මෙන්ම ඇදට නැගුනු මා කල්පනා ලොවක තනි විය. සද කිරණින් ආලෝකමත් වී තිබෙන මාගේ නිදන කුටියට වෙනදා මෙන්ම ඇය පැමිණියාය. මා කල්පනා ලොවින් මිදුණි. ඇය මට අමුත්තියක් නොවේ. හොදින් හුරු පුරුදු යෙහෙළියකි. සුදෝ සුදුවන් දුහුල් වස්ත්රයෙන් සැරසී මන බදිනා ගමන් ලාලිත්යයකින් මදෙසට පැමිණි ඇය අන් කවරෙකුවත් නොවේ, සකලවාසී සියලු ජනයා සුවබර නින්ද කරා ගෙනයන නිදි දෙවු දියණියි.

පෙර දිනයන්හි මම ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියෙමි. නමුත් දැන් ටික කලක පටන් ඇගේ උණුසුම මට නිදි යහනේදී ලැබුනද නින්ද මා කරා බොහෝ වේලාවක් යන තුරු පැමිණියේ නැත. මෙය මට මහත් ගැටළුවක් වියප්‍රශ්නයක් තුල සිරවී විසදුමක් නොලබා සිටීම මට මහත් ගැටලුවක් විය. ඇයි දෙවු දියණියනි මෙසේ වන්නේ? මාගේ පැනය විය. බිලිදියක්ව සිට කෙළිදෙලෙන් දග කරන දැරියකගේ කාලය දක්වාත් එතැන සිට එම දැරිය නව යොවුන් වියේ යුවනියක් වූ  කාලය දක්වාත් එම යුවනියට දැන් ටික කලකට පෙර දක්වාම මාගේ උණුසුම මහත් අස්වැසිල්ලක් විය. දැන් එම යෞවනිය මුහුකුර ගොස් ඇත. ඇයට මාගේ උණුසුමට වඩා දෙයක් ඇත. ඇගේ ආදරයේ උණුසුමයි, ආදරණිය සුවදයි.

මම ඇගේ දයාබර වූ මුහුණ දෙස බලා මට සමාවන්න දෙවු දියණියනි යැයි පැවසුවෙමි. සෙනෙහෙබර මදහසකින් මුව මඩල සරසා ගත් ඇය මාගේ නළලත සිප එය ඔබේ වරදක් නොවේ, එය මිනිස් සොබවයි පැවසුහ.දෙවු දියණිය මාගේ නිදන කුටියෙන් පිටත් වීමට සැරසුණි. නික්මීමට පෙර ජනේලය අසලට ගොස් යම් දෙයක් මදනලට පැවසුහ. සද කිරණ දිගේ නැවත යන දෙවු දියණිය දෙස මම බලා වුන්නෙමි. සැනකින් ඇය තරු පිරි සුන්දර අහස ගැබ තුල නොපෙනී  ගියාය. සමගම මදනල මා වෙත පැමිණියේය. හිස් අතින් නොවේ. මා සෙවූ ආදරණිය උණුසුමත් සුවදත් රැගෙනය. එම උණුසුමින් මා මුළු ගතම වෙලාගත් අතර සුවද මාගේ මනසට දැනෙන්නට විය. ස්තුතියි මදනල. මට මිමිනිමට හැකි වුයේ මෙපමණකි....  

2011/03/13

ඇරඹුම

බහ තෝරන වයසේ ඉදලම මට ගෙදරින් ලැබුනේ පොත් පත්. ඉතින් පොඩි කාලේ ඉදලම පොත් වලට ගොඩක් ආදරේ කරන්න පටන් ගත්ත. පැන්ඩා බබා මට ලැබුන මුල්ම පොත. ඔය කතාව මට කොච්චර කියල දීල තියෙනවද කියනවනම් කිසිම අකුරක් දන්නේ නැති මම පොත පෙරලගෙන මුළු කතාවම කට පාඩමින් කියනවා. එතකොට මගේ වයස අවුරුදු 3ක් වගේ ඇති.

 ටිකෙන් ටික ලොකු වෙනකොට පොත් වලට තිබුන ආසාව වැඩි වුන. මට ගෙදරින් තහනමක් තිබුනේ නෑ පොත කියවන්න එපා මේ පොත කියවන්න එපා කියල. ඉස්කෝලේ 6,7 පන්ති වලට එනකොට මට කවි, නිසදැස් ලියන්න පටන් ගත්ත. ඒත් කාටවත් පෙන්නුවේ නෑ. 9 පන්තියේදී අපිට විෂයක් තිබුන ජීවන නිපුණතා කියල. අපේ පලවෙනි පැවරුම මා කැමතිම තැනැත්තිය ගැන රචනයක් ලියන්න. ඔන්න මමත් ලිවූවා කැමතිම තැනැත්තිය ගැන. ලියල ඉවර උනාම මට හිතුනා ලස්සන කවියකුත් ලියන්න ඕනේ කියල.

කවියත් ලියල පින්තුරයකුත් අලවලා පහුවෙනිදා ගෙනිච්චා. දැන් විෂය බාර ගුරුතුමී බලනවා එක එක්කෙනාගේ ඒවා. කවදත් මගේ පුරුද්දක් තිබුන ඉක්මනට පෙන්නලා යාළුවො එක්ක කියව කියවා ඉන්න එක, ඒත් එදා මම පෙන්නන්න පොඩ්ඩක් පස්ස ගැහුවා. ගුරුතුමී මගේ නම කියල ඇහුව ලියල නැද්ද කියල. " ලියල මිස් තියෙන්නේ." " ලියල නම් ඔච්චර ඇබරෙන්නේ ඕකත් අරගෙන මෙහෙ එන්න." මිස් මගේ රචනාව සහ කවිය කියෙවුවා " මෙච්චර ලස්සනට ලියල තියෙද්දී ඇයි පෙන්නුවේ නැත්තෙ." මිස් කවිය පන්තියටම ඇහෙන්න කියෙවුවා. මට හරිම සතුටුඉ. ගෙදර අයටත් සතුටුයි

11 වසරේදී මම කෙටි කතාවක් ලිවුවා. අනේ මගේ කතාව හොරකම් කලා. මට හරියට දුක හිතුනා. ඊට පස්සේ මම ලියන එක නැවැත්තුවා. කාලය ඔහොම ගලාගෙන ගිය. මම උසස්පෙළ කලා. උසස් අධ්යාපනය පටන් ගත්තා. ඔය අතරේ කෙනෙක් මගේ ජීවිතයට ආවා. නැවතිලා තිබුන පුරුද්ද ආපහු පටන් ගත්තා. මම එයට මගේ හිතේ තිබුන දේවල් නිසදැස විදිහට ලියලා දුන්නා.  එයට තියෙනවා බ්ලොග් පිටුවක්. මම ඇහුව එයාගේ එකට මමත් ලියන්නද කියලා. " ඔයත් එකක් පටන් ගන්නකෝ."

ඔහුගේ ආදරණිය දිරිගැන්වීම මත දිග හැරෙන මගේ බ්ලොග් පිටුව " සිතුවිලි අරණ."