වෙනදා මෙන්ම ඇදට නැගුනු මා කල්පනා ලොවක තනි විය. සද කිරණින් ආලෝකමත් වී තිබෙන මාගේ නිදන කුටියට වෙනදා මෙන්ම ඇය පැමිණියාය. මා කල්පනා ලොවින් මිදුණි. ඇය මට අමුත්තියක් නොවේ. හොදින් හුරු පුරුදු යෙහෙළියකි. සුදෝ සුදුවන් දුහුල් වස්ත්රයෙන් සැරසී මන බදිනා ගමන් ලාලිත්යයකින් මදෙසට පැමිණි ඇය අන් කවරෙකුවත් නොවේ, සකලවාසී සියලු ජනයා සුවබර නින්ද කරා ගෙනයන නිදි දෙවු දියණියි.
පෙර දිනයන්හි මම ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියෙමි. නමුත් දැන් ටික කලක පටන් ඇගේ උණුසුම මට නිදි යහනේදී ලැබුනද නින්ද මා කරා බොහෝ වේලාවක් යන තුරු පැමිණියේ නැත. මෙය මට මහත් ගැටළුවක් විය. ප්රශ්නයක් තුල සිරවී විසදුමක් නොලබා සිටීම මට මහත් ගැටලුවක් විය. ඇයි දෙවු දියණියනි මෙසේ වන්නේ? මාගේ පැනය විය. බිලිදියක්ව සිට කෙළිදෙලෙන් දග කරන දැරියකගේ කාලය දක්වාත් එතැන සිට එම දැරිය නව යොවුන් වියේ යුවනියක් වූ කාලය දක්වාත් එම යුවනියට දැන් ටික කලකට පෙර දක්වාම මාගේ උණුසුම මහත් අස්වැසිල්ලක් විය. දැන් එම යෞවනිය මුහුකුර ගොස් ඇත. ඇයට මාගේ උණුසුමට වඩා දෙයක් ඇත. ඒ ඇගේ ආදරයේ උණුසුමයි, ඒ ආදරණිය සුවදයි.
මම ඇගේ දයාබර වූ මුහුණ දෙස බලා මට සමාවන්න දෙවු දියණියනි යැයි පැවසුවෙමි. සෙනෙහෙබර මදහසකින් මුව මඩල සරසා ගත් ඇය මාගේ නළලත සිප එය ඔබේ වරදක් නොවේ, එය මිනිස් සොබවයි පැවසුහ.දෙවු දියණිය මාගේ නිදන කුටියෙන් පිටත් වීමට සැරසුණි. නික්මීමට පෙර ජනේලය අසලට ගොස් යම් දෙයක් මදනලට පැවසුහ. සද කිරණ දිගේ නැවත යන දෙවු දියණිය දෙස මම බලා වුන්නෙමි. සැනකින් ඇය තරු පිරි සුන්දර අහස ගැබ තුල නොපෙනී ගියාය. ඒ සමගම මදනල මා වෙත පැමිණියේය. ඒ හිස් අතින් නොවේ. මා සෙවූ ආදරණිය උණුසුමත් සුවදත් රැගෙනය. එම උණුසුමින් මා මුළු ගතම වෙලාගත් අතර ඒ සුවද මාගේ මනසට දැනෙන්නට විය. ස්තුතියි මදනල. මට මිමිනිමට හැකි වුයේ මෙපමණකි....
